කල්පනා මැරූ සීතය | 12.12.12 💔
සමහර පොත් තියනවා, කියවලා දින ගණනාවක්, සති ගණනාවක්, සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් යනකල්, මොකද්ද දෙයියනේ ඒ උනේ කියල හිතාගන්න බැරුව, අපි ගත කරපු සාමාන්‍ය ජීවිතයට එන්න බැරුව උඩු යටිකුරු වෙලා දින ගත කරන්න සිද්ද වෙන.
මම ඉස්සර ගොඩාක් පොත් කියවපු කනෙක්. ඒත් ටික ටික busy උන daily routine එකත් එක්ක, මට පොතක් කියවන්න තියා පොතක් දිහා ඇහැක්වත් ඇරල බලන්න වෙලාවක් ලැබුනෙ නැති හරිම ඒකාකාරී ජීවිතයක් පහුගිය කාලෙ ගත කරන්න සිද්ද උනේ. ඒ ජීවිතයෙන් මිදිලා, ටිකක් නිදහස් වෙන්න ලැබුන දවස් කීපයෙන් මම මුලින්ම කලේ ගොඩගැහිල තිබුන පොත් ටික ළඟට ගත්තු එක.
රෑ එළි වෙනකල්ම වැටිච්ච චුරු චුරු වැස්ස ඩිංගක්වත් අඩුත් නැතුව වැඩිත් නැතුව එහෙම්ම වැටි වැටි තිබුන ඒ උදේ පාන්දර මම 12.12.12 ත් අරගෙන මගේ සනීප ඇඳට ගියේ ඉස්සර මම පොත් එක්ක ගත කරපු ඒ ඇබ්බැහි ජීවිතේට ආයෙමත් මට එන්න පුළුවන් වේවිද කියන පොඩී සැකයක් මගේ හිතේ මුල්ලක තියාගෙනමයි.
හැබැයි ටික වෙලාවක් යද්දි මම හිටියේ මගේ ගෙදර මගෙ ඇඳේ නෙමෙයි, සුන්දර යැයි කියනා පැරීසියෙ සීතල දෙසැම්බරයක, දරුණුවට හිම වැටුන එක මූසල රැයක, 'හියුජෙන්ස්' යැයි නම් දැරූ පාරක අංක 46 ගොඩනැගිල්ලේ පස් වන මහලේ සැප පහසු නිවසක, සුව නින්දක් නිදාගන්න ගියපු කල්පනා, හසීල් දෙන්නට ආයෙ කවරදාකවත් නොනැගිටින්න ගැඹුරු නින්දකට වැටෙන්න වැඩ සිද්ද කරේ ඇත්තටම කවුද කියල හිතින් තර්ක කර කර. තවත් වෙලාවක මම හිටියේ නතාලි මුණියේ එක්ක පැරීසියේ වීදි අතර මිනීමැරුවෙක් හොය හොය. පැරිස් විශේෂ පුහුණුව ලැබූ විශේෂ භට කණ්ඩායම මර්වාන් අල් හසන්ගෙ ගෙදර දොර අරින්න ඒ උදේ පාන්දර 5.59 පහු වෙලා උදේ 6 වෙන්න තව තත්පර හයයි පහයි හතරයි තුනයි දෙකයි එකයි කියල ගණන් කරද්දි මගෙ හුස්ම ටික නැවතුනේ නැති ටික විතරයි. පොතේ අවසාන ටික මම කියෙව්වා නෙමෙයි ගිලගෙන ගිලගෙන ගියා කිව්වොත් ඇත්තටම හරි.
මංජුල සේනාරත්න මහත්තයෝ ඔබ නම් ඇත්තෙන්ම විස්මිතයි. ඔබ දැං මාව හිර කරල තියෙන්නෙ මට හරි උත්තරය හිතාගන්න බැරි ප්‍රශ්න ගණනාවක් එක්ක. පොත කියවල ඉවර වුණාට පස්සෙ මට මේ දැනෙන අසම්පූර්ණ බව හින්දම මාව පෙළඹුනා පොතේ reviews හොයන්න, youtube සර්ච් කරන්න, කතෘ එක්ක තිබුණු interviews බලන්න, facebook groups වල රිවීව්ස් කියවන්න. දැන් මගේ ඒ තිබ්බ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වෙලා. දැන් මට බියුරෝ පොත හොයාගන්නකල් ඉවසිල්ලක් නෑ. ඒත්, පුළුවන් ඉක්මනින්ම මම පොත හොයාගත්තත්, මටම විශ්වාස නෑ මංජුල සේනාරත්න මහත්තය කරන්න එපාය කියල පොතේ මුලින්ම කියල තියන වැඩේ මම ඔක්කෝටම කලින් මුලින්ම කරාවිද කියලත්. එහෙව් මම... 😐
12.12.12 book trailer
කොහොම හරි, දැං කල්පනා කරද්දි මට හිතෙනවා, මේ පොත ළඟ තියාගෙන වැඩ අස්සෙ හිර වෙලා මොන අටමගලයක්ද මං මෙච්චර කාලයක් කරේ කියල, වැඩ ඔක්කොම පැත්තකට දාල දවසක් අරං එළි වෙනකල් මේක කියවන්නෙ නැතුව.
දැං මගේ හිතේ භාතියට දෙන්න එක අංශු මාත්‍රයකවත් සමාවක් ඉතුරු වෙලා නෑ. සොෆී වගේ ගැහැණු මේ ලා්කෙට ලොකුම ලොකු සාපයක්. මේ විදියට ලියවුනේ නැති කල්පනාල, හසීල්ල, භාතියල, සොෆීල ඉස්සරත් මේ ලෝකෙ ඕන තරමක් ඉන්න ඇති, ඉස්සරහටත් ඉඳීවි. ඒත් එයාලගෙ ඇත්ත කතාවල් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට දැනගන්න ඉඩ නොදී ඉස්සරත් ඕන තරම් එයාලත් එක්කම වැළලිලා යන්න ඇති, ඉස්සරහටත් එහෙමම වේවි.
TEAM 5