අකුරු | 5% to SL-Charity
"ඇයි පුංචි හැමෝම මට බනින්නෙ?
පිස්සු කන්න දවසට එක සැරයක් හරි ගෙදර කාගෙන් හරි බැනුම් අහනව. ඒ වෙලාවට කෙලින්ම දුවගෙන යන්නෙ කිරි අම්ම ළඟට. කිරි අම්මත් බැන්න වෙලාවට මං ළඟටත් එනව. එහෙම ආවම නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඔය මුලින් කිව්වෙ.
අද එයා බැනුම් අහල තිබුණෙ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒ අකුරු ලියන්නැතුව. මොන්ටිසෝරියෙ ටීච Whatsapp එකෙන් හෝ ගාල වැඩ එවනව. ඒව කරල ටීචට ගෙනිහින් පෙන්නන්න ඕනි. ඉතින් පිස්සු කන්න පස්සෙ පස්සෙ කිය කිය ඉඳල ගෙදර වැඩ සේරම කරන්නෙ අන්තිම දවසෙ. ඉතින් බැනුම් අහන්න වෙන එක සාධාරණයි.
මං ළඟට දුවගෙන ආපු පිස්සු කන්න මගේ කකුල් දෙකේ ඔලුව තියාගත්ත.
"ඇයි.. මොකද්ද ප්‍රශ්නෙ" මං ඇහුව.
"මට මහන්සියි පුංචි.."
"ඒ මොකෝ?"
"මං අකුරු ගොඩාක් ලිව්ව. වයිට් බෝඩ් එකෙත් ලිව්ව. පොතෙත් ලිව්ව. ආයෙ ලියන්න බෑ පුංචි."
"අපි නම් චූටි කාලෙ ආසාවෙන් ලිව්ව. අකුරු ඉගෙනගන්න ආසයි ඒ කාලෙ. කතන්දර පොත් කියවන්න පුලුවන් වෙනවනෙ එතකොට. ඔයා ආස නැද්ද තනියෙන් පොත් කියවන්න ඉගෙනගන්න?"
"මං පොත් කියවන්න ඉගෙනගන්න ආසයි. ඒත් මං කැමති අකුර අකුර ඉගෙනගන්න පුංචී."
ඒ කතාවට නම් මගෙ පපුවත් මොකද්ද උනා. මං මොකුත් නොකිය පිස්සු කන්නගෙ ඔලුව අතගෑව.
"ඇයි පුංචි ටීච අකුරු ගොඩක් එවන්නෙ?" පිස්සු කන්න කොහෙදෝ බලාගෙන ඇහුව.
අධ්‍යාපනය කියල චුටි මොළවලට අපි කොච්චර බරක් දානවද? එයා ගෙදර බඩු තියෙන තැන් හරියටම දන්නව. කුස්සියෙ බඩු පවා. එයා හරියටම දන්නව මොකක් හරි විශේෂ දවසක ගෙදර අය ඇඳගෙන හිටපු ඇඳුම මොකද්ද කියල. එයා දන්නව රොටී වලට පිටි අනන්නත්. ළූණු ලීක්ස් එහෙම චූටියට කපන්න හරිම දක්ෂයි එයා. තව එයාගෙ චූටි නංගි බබාට බත් කවන්න රවට්ටගන්නත් දන්නව. එයා ඔය අකුරු ඉලක්කම් ලොකු වෙද්දි ඉබේම ඉගෙනගනියි. හරියට එයා හුඟක් දේවල් බලන් ඉඳල ඉගෙනගන්නව වගේ. ඒත් මේ සෙල්ලං කරන්න වැටි වැටි නැගිටින්න තියෙන ලස්සනම වයසෙදි එයාලගෙ හිත් බිඳෙන එක හරි පවු නේද..
අනේ පවු අනේ. පොඩි ලමයි ආස සෙල්ලම් කර කර ඉන්නනෙ. මාත් එහෙමයි ඉතින්
ඒකනෙ..අපිත් ආස නෑනෙ වැඩ ගොඩක් එක පාර කරන්න... අපිටත් දරාගන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. එයාලට ඔළුවට ගන්න පුලුවන් බොහොම ටිකයි...
මේක නම් අක්කෙ මාත් දැකපු දෙයක්. දැන් පොඩි ළමයින්ට හරියට වැඩ. අපි මොන්ටිසෝරියෙදි එච්චර අකුරු ලිව්වෙ නෑ. අත්වැඩ, හැඩ අඳින එක, සෙල්ලම් කරන එක තමයි කරේ. එහෙමයි කියල අපි ඉතින් අද වැරදි තැන්වලත් නෑ. ඒත් දැන් පොඩි ළමයින්ට දෙන වැඩ ගොඩ එක්ක ඒ ළමයි පොඩි කාලෙම පීඩනෙන් ඉන්නෙ. ටික කාලයක් යද්දි ඉගෙන ගන්න එකත් එපා වෙනව ඉතින්.
ඒක තමයි..අපි මොන්ටිසෝරි ගියෙ හරිම ආසාවෙන්.. සෙල්ලං කරන්න නටන්න සිංදු කියන්න..කොල කපන්න අලවන්න....😄 1වසරෙත් බාගයක් ගිහින් තමයි අකුරු ලිව්වෙ.. දැන් තියෙන්නෙ ලොකු තරඟයක්..
අපේ තාත්තා කියනවා මොන්ටිසොරි වල අකුරු උගන්නන්න අවසර නෑලු. අකුරු වලට ඕන හැඩ රටා, කපන්න, අලවන්න වගේ දේවල් තමයි පොඩි ලමයින්ට කරවන්න ඕන කියලා. මම එක වසරට යනකොට එක අකුරක්වත් දැනගෙන හිටියෙ නෑ කියලා අම්මා කියනවා. මොන්ටිසොරි ගියෙත් මාසයයි. අම්මයි තාත්තයි අපි ගැන වැරදි තීරන අරන් නැති බව දැන් තේරෙනවා.
ඔව්. අපේ අම්ම කිව්වා ඉස්සර pre-school වලට එක පරට පරීක්ෂක ලා එනවා කියලා ළමයින්ට අකුරු උගන්වනවද බලන්න කියලා. හොරෙන් හරි උගන්නලා තිබුනොත් pre-school එක black list කරනවාලු. ඒ කියන්නෙ pre-school වල අකුරු උගන්වන එක තහනම් ලු ඒ කාලේ.
ඒකට අද කාලෙ. 😫කියලා වැඩක් නෑ.
තාමත් තහනම්ද කොහෙද. පොඩි ලමයින්ගෙ අත්, අකුරු ලියන්න වර්ධනය වෙලා නෑ. ඉස්සර ඉස්කෝලෙ එක වසරෙත් මුලින්ම අකුරු ඉගැන්නුවෙ නෑ.
ඔව් නේද
එහෙම කියලා අපිට පාඩුවක් උනෙත් නෑනෙ. මොකට මෙච්චර ඉක්මන් වෙනවද මන්දා😫අවුරුද්දකින් දෙකකින් ළමයින්ගෙ දැනුම අනිත් අයට වඩා ඉස්සරහට ගෙනියන්න කියලා හිතලා කරන දෙවල් වලින් එයාලගෙ මුළු ජීවිතයම පස්සට යනවා.
ඔව්...අකුරු උගන්නන්න එපා කියලනෙ තියෙන්නෙ.. ඒත් ගොඩක් අම්මල ගෙදරදි අකුරු පුරුදු කරනව. අවුරුදු තුනේ විතර ඉඳන්.. සමහර ළමයි ගොඩක් දක්ෂයි වගේ පේනව ඉතින් පොඩි කාලෙ. අම්මල තරඟෙට උගන්නනව. ඒ මොන්ටිසෝරියට වඩා අරක හොඳයි කියනව. ටීචලත් වැඩ ගොඩක් දෙනව. හැබැයි ලොකු වෙද්දි එයාලගෙ චින්තන ශක්තිය අඩු වෙනව පොඩි කාලෙ ඒකට උදව්වක් නොලැබුණ නිසා.
ඔව් දැන් ඔක්කොම තරගයක් වෙලා. සමහර ලමයින්ගෙ ඇත්ත දක්ෂතා විනාස වෙන්නෙ අම්මලා එයාලව මේ තරගෙට තල්ලු කරන්න ගිහින්.
මේක තමයි අපේ රටේ අධ්‍යාපනයේ ඛේදාන්තය. ළමා මනස තේරුම් ගන්න බැරි සම්පාදකවරු තමයි අද විෂය නිර්දේශ හදන්නේ. ළමයි කියන්නේ ළමයි. මුලින්ම ඒක තේරුම් ගන්න ඕනේ.😪
අන්න ඒකයි. මොන්ටිසෝරියෙ ඉඳන්ම ළමයිට වෙලා තියෙන්නෙ වෙන අයගෙ හීන පස්සෙ දුවන්න. මොන්ටිසෝරියෙ අකුරු උගන්නන්නැතුව හිටිය කියල ඒක වෙනස් කරන්නත් බෑ. ඇයි ඉතින් දැන් අවුරුදු ගානක් යන රටාවනෙ. කොනක ඉඳන් හදන්න ඕනි.
එහා ගෙදර අක්කගෙ බබා online class වලට යන්නෙ මම එක්ක. මේ මොන විකාරකයක්ද කියලා හිතෙනවා චූටි ඔලුගෙඩි වලට. ඇත්තටම ඒක පවු තමයි. පිස්සු කන්නත් පවු මගේ එහා ගෙදර බබ ත් පවු. 😪
ඒක තමයි. අපි ඉස්සර යාලුවො එක්ක කොච්චර සෙල්ලං කළාද... දැන් එයාලට ඒකටත් ටයිම් ටේබල් එකේ වෙලාවක් වෙන් කරල තියෙනව. පව්. චූටි ළමයි ප්‍රශ්න අහල ඉගෙනගද්දි කොච්චර ලස්සනද..එයාලම දෙයක් දැකල හදල කඩල ඉගෙනගද්දි තමයි අනාගතේ ඕනිම ප්‍රශ්නයක් දිහා හොඳ දැක්මකින් බලන්න පුලුවන් වෙන්නෙ.
දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය ළමයින්ට බර වැඩියි. ඔයා කිව්ව දේ නං ඇත්ත තමයි . එයාලට දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නෑ වැඩත් එක්ක. 😞😞
ඔව්...ඇත්තටම ඒක මේ පුංචිම ළමයිට විතරක් නෙමේ.. 1, 2, 3...ඉඳල ඉස්සරහටම අරන් යන්න වෙන බරක්.. යන්ත්‍රයක් වගේ ඉගෙනගන්නයි වෙලා තියෙන්නෙ.
මොන්ටිසෝරියෙන් එවන වැඩ දැක්කම පිස්සු හැදෙනෝ.... චූටි ළමයි පව්.... 😥 පොඩි ළමයින්ට පොඩි කාලෙදිම බල කර කර වැඩ කරවන්න ගියාම එයාලට එයාලව අමතක වෙලා එයාලා අදුරන්නෙවත් නැති චරිතයක් එයාලගෙන් එලියට එනෝ කියලා මට අනන්ත හිතිලා තියෙනවා 😥.
ඒක තමයි වෙන්නෙ.. මට හිතෙන හැටියට එයාලගෙ නිර්මාණශීලි බව වැඩි කරන එක.. හොඳ නරක ගැන හිතන්න පුරුදු කරන එක.. යාලුවො එක්ක එකතු වෙලා වැඩක් කරන හැටි උගන්නන එක කළා නම් ඇති ඔය වයසට.
පොඩි ලමයි ගැනනම් ඇත්තටම දුකයි අපි මේ වයසෙදිත් ඔන්ලයින් ක්‍රමේට ඉගෙනගන්නෙ හරි අමාරුවෙන් , පොඩි අයගෙ ලමා කාලෙ අත්දැකීම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනව මේ තත්ත්වෙ එක්ක, සෙල්ලම් කරන්නවත් වෙලාවක් නෑනෙ පොඩි අයට දැන් තියෙන වැඩත් එක්ක 😪😪😐
ඒක තමයි.. ළමයි ඉතින් ෆෝන් එකටම හුරු වෙනව.. අපිත් මේවගෙන් මිදෙන්න බැරුව ඉන්න කාලෙ. එයාලව දවස ගානෙ ගේ වටේ රවුමක් එක්ක ගිහින් වත්තට එක්ක ගිහින් අලුත් දේවල් පෙන්නල දැනුමක් දෙන්න තියෙනවනම් වටිනව.. ඒත් ඒවට අම්මලට කෝ වෙලාවක්.
ඒක ඇත්ත. මොන්ටිසෝරි බබාලත් හෝම් වර්ක් කරන බව දැන ගත්තෙ මේකෙන්.එක වසරෙදිත් අකුරු ලියවන්නෙ නෑ නේද හරි විදියට නම්. ඒත් අධ්‍යාපන මනෝ විද්‍යාව කැලේ දැන් නම්.
ඔව් ඒත් හුගක් අය හිතන්නෙ ළමයි ඉස්කෝලෙ යද්දි අකුරු ඔක්කොම දැනගෙන යන්න ඕනි කියල.. සමහර ළමයි එහෙම දැනගෙන ගියාම ඉස්කෝලෙ ගුරුවරුන්ටත් අමාරුයි උගන්නන්න.
දරුවන්ට ලැබෙන නිදහස අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනා.අනාගතය ශක්තිමත් කර ගනීවි ඒ තුළින්ම.
අනිවාර්යයෙන්ම.. නිදහසේ ඉගෙනගන්නකොට ආසාවෙන් ඉගෙනගන්නව..දරුවන්ව ගොඩක් හිර කළොත් එතනින් මිදෙන්න තමයි බලන්නෙ.